Saturday, September 29, 2018
සිංහල-ඉංග්‍රීසි විද්‍යුත් ශබ්ද කෝෂ අතරට පැමිණි සුපිරිම අලුත් වැඩකරු 'Jhat English to Sinhala Dictionary'
ශ්‍රී ලංකාව තුල මෙතෙක් බිහිවූ සිංහල ඉංග්‍රීසි මුද්‍රිත ශබ්ද කෝෂ අතරින් 'මලලසේකර' ශබ්දකෝෂයට හිමිවූයේ අද්විතීය ස්ථානයකි. පසුකාලීනව තාක්ෂණයෙහි සිදුවූ පෙරළීන් සමඟින් විවිධ ගණයේ විද්‍යුත් ඊ සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂ කීපයක් පැමිණියත්, ඒ අතරින් ජනතාව අතර සාර්ථකව ජනප්‍රිය වූයේ Madura Dictionary යි. එයින් පසු වැඩිදියුණුවූ සාර්ථකම විද්‍යුත් සිංහල ඉංග්‍රීසි ශබ්ද්ගකෝෂය බවට පත්වන්නේ මෑතකදී අන්තර්ජාලයට එක් වූ සුපිරි තාක්ෂණික අංගයන් කීපයකින්ම අනූන වූ Jhat සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂයයි. සැබවින්ම මෙම මෘදුකාංගය අපේ කාලයට බෙහෙවින් ගැලපෙන පරිදි සංවර්ධනය කර හඳුන්වාදුන්නේ මහේෂ් කුලසිංහ විසිනි.
මෙම Jhat English to Sinhala Dictionary හි ඇති විශේෂත්වය නම් ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම් දැනගැනීමත්, හඬ භාවිතයෙන් ඒවා ශබ්ද නැගීමට හැකි OCR තාක්ෂණය හරහා අප කැමරාව ඉදිරිපිට ඉංග්‍රීසි වචන පෙන්වු විට එය හඳුනාගැනිමට හැකි අංගයන් රැසකින් සමන්විත වීමයි.
මෙය අන්තර්ජාලයෙන් තවමත් ඔබට නොමිලයේ බා ගත හැකියි. එලෙසටම ඔබේ Windows හෝ Linux මෙහෙයුම් පද්ධතින් සඳහා අවශ්‍ය පරිදි සකසා ගැනීමේ පහසුකම ද තිබේ. ඔබ කල යුත්තේ සිංග්ලිෂ් හෝ ඉංග්‍රීසි වලින් වචන ටයිප් කර සෙවීමයි. එලෙසටම එය අවසානයට පෙර Space bar හි ටයිප් කිරීම කළ යුතු බවද මතක තබා ගන්න. මෙනුව හරහා ඔබට OCR තාක්ෂණය තෝරාගත හැකියි.
පහත Version දෙක දැනට ඔබට අන්තර්ජාලයෙන් බාගත හැකියි.
Jhat English to Sinhala Dictionary V1.6
Jhat English to Sinhala Dictionary V1.7 beta
අයි. සිරිවර්ධන
Sunday, September 23, 2018
ලංකා රුපියල 200 දක්වා අවප්‍රමාණ වීමේ අවදානම වැඩි බැවින්, තවදුරටත් කාර් මිලත් ඉහළ යන ලකුණු...
පසුගිය සතිය තුළ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙමින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 170 දක්වා පැමිණ මෙතෙක් ඉතිහාසයෙහි වාර්තා කළ වැඩිම අගයට පැමිණියා. ඉන් පසු රජය විසින් විදෙස් සංචිතයන් නිදහස් කිරීමෙන් පසු නැවත එය 168 මට්ටමට පැවතියද ඉදිරි මාස කීපය තුළ එය තවදුරටත් අවප්‍රමාණය වීම නම් කිසිවෙකුටත් නොවැළකිය හැකි අඩියකට තිබේ. මීට බලපෑ බාහිර සාධකය අතර ආසන්නතම හේතුවක් වූයේ ඇමරිකාව විසින් ආයෝජකයින් දිරිගන්වමින් ඔවුන්ගේ පොලී අනුපාත ඉහළ දැමීමයි එනිසා 2008 වසරේදී එරට ආර්ථිකය කඩා වැටීමකට ලක්වීමේදී එරටින් පිටතට අයෝජකයින් විසින් රැගෙන ගොස් සිටි ආයෝජන නැවත ඇමරිකාව තුළට ගලා ඒමක් සිදුවෙමින් පැවතීමයි.
ආනයනික වාහන වල මිල වැඩිවිම ඉදිරියටත්....
ඒත් සමඟම පසුගිය දිනවල මෙරට වාහන ආනයන කරන්නන්ගේ සංගමය විසින් පැවසුයේ ඉදිරියේදි රුපියල තවදුරටත් අවප්‍රමාණ වීමේදී එය ලබන වසර වනවිටදී රු 200 දක්වා ඉහල යන තත්වයක් දැනට පවතින බවයි. එනිසා පවතින රජය බලයට පත්වීමේදී පොරොන්දුවූ පරිදි පුංචි වාහන අඩුවට දීමේ සිහිනය තවත් පාරිභෝගිකයින්ගේන් ඈතට යනු ඇති බවයි. රුපියල අවප්‍රමාණවීම රු 170 දක්වා වැඩිවීමෙන්, ඒ වනවිටත් ආනයන කරන සාමාන්‍ය මෝටර් රථවල පවා මිල ලක්ෂ 2 ත් තුනත් අතර පමණකින් වැඩිවීමේ ප්‍රවණතාවක් පැවතුණු බව සඳහන් විය. එනිසා ඉදිරියේදී වාහන මිල ගණන් අඩුකිරීමට නම් රජයෙන් ව්‍යාපාරිකන්හට බදු සහන දීම නොකළහොත් එම එම ක්ෂේත්‍රය දැවැන්ත කඩාවැටීමකට ලක්වනු ඇත.
මේ දිනවල බෙහෙවින් කතාබහට ලක්වූ "රුපියල අප්‍රමාණවීමේ" මාතෘකාව ව්‍යාපාරිකයින්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයටද දැඩි බලපෑම් කිරීමට සමත්වීම නිසා ඉදිරියේදි ආනයන මත වැඩිපුර ආර්ථිකය යැපෙන රටවල් තුල උද්ධමනය වැඩි වීමට අනිවාර්යෙන් බලපානු ඇත. මේ තත්වය මෙරටට පමණක් නොව ඉන්දියාව හා පාකිස්තානය වැනි අනෙකුත් රටවලටද බලපා ඇති නිසා ඔවුන්ගේද රුපියල අවප්‍රමාණය වෙමින් පවතී.
රට තුළ ආර්ථික අර්බුදය හමුවේ කෝටි ගණනින් මන්ත්‍රී වැටුප් වැඩි කිරීම හා විකල්ප....
අපේ රටේ දැනට ඇති දැවැන්ත ණය කන්දරාව 2019 වනවිට ගෙවා දැමීමට රජයට සිදුවන නිසා, ඉදිරියේදී රජයට අපනයන වැඩි කිරීම උදෙසා රුපියල බාල්දු කිරිම දිගින් දිගටම සිදුකිරීමට සිදුවේ. අනෙක් විකල්පය නම් රටවැසියාගෙන් වැඩි වශයෙන් බදු ගැසීමයි. මෙය ඔවුනට ඇති ප්‍රධාන විකල්ප 2කි. මෙයට පිළිතුරක් විය හැකි තවත් විකල්පයක් ඇත. එය නම් රට දැඩි ආර්ථික පසුබැඇමක් සිටින අතර මෑතකදී කෝටි ගණනින් වැඩි කළ මන්ත්‍රී වැටුප් කප්පාදු කිරීමයි. නමුත් අපේ රටෙහි රජයන් විසින් මෙම තුන් වන විකල්පයට නම් කිසිවිටෙකත් නොයන බව නම් නිසැකයි! සැබවින්ම රට තුල ආර්ථික මෙතරම් පසුබැමක් සිදුවීමට පෙර පැවති හා පවතින රජයන් යටතේ වූ මහජන මුදල් වංචා මෙන්ම දුර්වල ආර්ථික කළමණාකරණ තීරණයන්ද හේතුවූ බව බහුතරයක් ජනතාවගේ මතයයි.
අපනයන ආදායම වැඩිකිරීමට බාධා ගෙනෙන අපනයනකරුවන්ගේ ප්‍රායෝගික ගැටලුවල යථාර්ථය.....
අපනයන වර්ධනය කර විදේශ සංචිත වැඩිකරගැනීමට රජය දරණ උත්සාහයන් එතරම් ප්‍රායෝගිකද? යන්න දැනට ගැටලුවකි. ඒ මේරටින් අපනයන කරන කෘෂි හා කාර්මික නිෂ්පාදිතයන් බහුතරයක අමුද්‍රව්‍යයන් වෙනත් රටවලින් ආනයනය කරන බැවිනි. අන්තර්ජාලය හරහා මෙරටට විදේශ විනිමය සපයන පිරිසක් ද මෙරට සිටියත් අවාසනාවට එම මුදල අප රට තුළට ගෙනේමේදී ඔවුන් ගැටලු රැසකට මැදිවී සිටිති. අවම තරමින් ජාත්‍යන්තරයේ ගනුදෙනු වලදී බහුලවම ප්‍රචලිත වූ Paypal ක්‍රමවේදය හරහාවත් මෙරටට විදෙස් මුදල් රැගෙන ඒමට නිසි අවසරයක් ලැබි නැත. එනිසා බොහෝ ජාත්‍යන්තර ගැනුම්කරුවන් හට ලංකාව ගැන ඇති ප්‍රතිරූපයන් සෘණාත්මක කිරීමට ද එය බලපා ඇත. මේ සියල්ල හමුවේ නොවැම්බරයේදී පැමිණෙන මී ළඟ අයවැය සහන ගැනද ජනතාවතුළ ඉතිරිව ඇත්තේ දෙගිඩියාවක් පමණි.
Wednesday, September 19, 2018
නිවසට සිරිකත කැන්දන්න ගෙනෙන Lucky Plant පිළිකාගෙනෙයිද....ඕපාදූප වලට නොරැවටෙන්න. විද්‍යාත්මක සත්‍යය මෙන්න.
ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාතික රටවල් බොහෝමයක වැවෙන මෙම 'ලකී ප්ලාන්ට්' ශාක විශේෂය ඩ්‍රසීනා ප්‍රභේදයකි. වැඩිදෙනකු අතර මෙය නිවසට වාසනාව රැගෙන එන ශාකයක් ලෙසටත් ප්‍රචලිත අතර චීන ෆෙන්ග්ෂුයි ක්‍රමයන්ට අනුකූලවද එවැනි විශ්වාසයන් පවතී. මෙහි වර්ග කීපයක්ම පැවතියත් ශ්‍රි ලංකාවෙහි නම් ඩ්‍රසීනා ප්රැග්රන්ස් මැසෙන්ජියානා නොහොත් ලකී ප්ලාන්ට් වඩාත් ජනප්‍රිය අතරම එය අපනයන සඳහා ද යොදා ගැනේ. සාමාන්‍යයෙන් මෙම ශාකය වැඩෙනුයේ යාන්තමින් සූර්ය රශ්මිය වැටෙන ස්ථානවලයි. ඉහත සඳහන් කළ පරිදි නිවසට වාසනාව කැඳවන බවට ඇති ව්ශ්වාසයන් හා එය සෙවණ ප්‍රිය කරන ශාකයක් යන කරුණු දෙක නිසාම බොහෝවිට එය නිවෙස් වල අභ්‍යන්තරයේ අලංකාරයට යොදාගනියි.
නමුත් දැනට අවුරුදු දෙකක පමණ සිට මෙතෙක් නිවෙස් වලට වාසනාව ගෙනෙනවායැයි කී ලකී ප්ලාන්ට් ශාකයම, නිවෙස් හිමියන්ට මාරාන්තිකවන බවට පවසමින් විවිධ පුවත් හා ඕපාදූප අන්තර්ජාලය පුරා වයිරල් ආකාරයට පැතිර ගියා. එයට ආසන්නතම හේතුවක් වූයේ පිළිකා කාරකයක් එහි අන්තර්ගත බවට මැලේසියානු වෛද්‍යවරයෙකු පැවසූ ප්‍රකාශයකි. එම පුවතට අනුව මැලේසියාවේ එක්තරා නිවෙසක සාමාජිකයින් සය දෙනෙකු වරින් වර මරණයට පත්ව ඇති අතර ඔවුන්ගේ වෛද්‍යවරයා විසින් නිවෙස පරීක්ෂා කිරීමේදී එහි තිබූ ලකී ප්ලාන්ට් වර්ගයේ පැළෑටියක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි පිළිකා කාරකයක් අන්තර්ගත බව සොයාගත් බවක් පැවසීමයි. පසුව මැලේසියානු හා සිංගප්පූරු වෙබ් අඩවි රැසක හා සමාජ ජාලවල එම ඕපාදූප ප්‍රසිද්ධිය ලබා ගැනීමේ අටියෙන් අනවශ්‍ය ලෙසට එම සිදුවීම උලුප්පවා පෙන්වමින් වාර්තා කර තිබුණි. නමුත් සත්‍යය නම් එම අදාළ වෛද්‍යවරයාගේ එම ප්‍රකාශය විද්‍යාත්මක වශයෙන් ප්‍රමාණවත් පැහැදිලි සාක්ෂීන් සමඟින් ඉදිරිපත් කර නොතිබීමයි.
ඉහත කාරණාව ගැන පර්යේෂණයක් සිදු කිරීමට නැවතවරක් 2015-2016 වසරවලදී මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර යුනිවසිටි පුට්‍රා මැලේසියා (UPM) නම් සරසවියෙහී පීඨාධිපති හා එරට කෘෂි හා ආහාර පර්යේෂණ පර්ෂද ජාතික කොමිසමෙහි ප්‍රධානි වන මහාචාර්ය ගිසන් සෙලෙහ්ගේ මූලිකත්වයෙන් සිදු කළ විද්‍යාත්මක ප්‍රයේෂණවලින් ලකී ප්ලාන්ට් හෝ ඩ්‍රසීනා කුළයෙහි ශාක තුළ පිළිකා කාරකයක් අන්තර්ගත බවට මෙතෙක් පිළිගත හැකි මට්ටමේ කිසිම විද්‍යාත්මක සාක්ෂියක් හමු නොවූ බව වාර්තා විය. එසේම එය ලියුකේමියා රෝගයට හේතුවක් නොවූ බවත් වැඩිදුරත් පෙන්වා දි ඇත. එනමුත් ලකී ප්ලාන්ට්, පතොක් වැනි ගෘහස්ථව තබන සමහරක් ශාක වර්ග මිනිසාට හා සුරතල් සතුන් හට විෂ විය හැකි රසායනික අන්තර්ගත බව නම් සත්‍යයක් බව පිළිගැනුනි. එනිසා එවැනි ශාක නිවෙස් වල ඇතුලත තබා ගැනීම අනතුරුදායක බවත් වැඩිදුරත් ප්‍රකාශ කෙරුණි. එයට හේතුව එහි පත්‍ර හෝ මල් වල සාර යුෂය කුඩා ළමුන් හෝ නිවෙස් වල ඇති කරන බල්ලන් බළලුන් වැනි සතෙකු ආහාරයට ගෙන ශරීරගත වූයේ නම් ඇතැම් විට මාරාන්තික වීමට පවා ඉඩකඩක් ඇති බව කියැවෙන නිසායි. සාමාන්‍යයෙන් ලකී ප්ලාන්ට් හි මල් කපාදැමීමකදී වුවද අත් ආවරණයක් භාවිතා කළ යුතුයි. නමුත් එය බොහෝදෙනෙකු පිළිකා කාරකයක් ලෙසට පිළිගැනීම නම් විද්‍යාත්මකව මෙතෙක් පැහැදිලිව සනාථ වී නොමැති නිසා තවමත් එය සාවද්‍ය මතයක් ලෙසට පිළිගැනෙයි.
පරිවර්තනය : අයි සිරිවර්ධන.
කර්තෘ අවසරයෙන් තොරව මෙම ලිපියෙහි කරුණු කුමන ආකාරයෙන් හෝ උපුටා ගැනීම තහනම් වේ.
මූලාශ්‍ර:
www.edgeprop.my.com
The Malaysian Insider
Subscribe to:
Posts (Atom)