Sunday, July 3, 2022

ඩොලර් - ඉන්ධන ගැටලුවට හොඳම විසඳුම ‘Ceylon Tea’

 

     


         ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විටත් කඩා වැටිලා. විශේෂයෙන්ම රටේ සෑම ක්ෂේත්‍රයකටම තදින්ම බලපාන ඉන්ධන ප්‍රශ්නෙ එක්ක රට එක තැන නැවතිලා. කවුරුත් කියන්නේ මේ ප්‍රශ්නෙට තාම හරි විසඳුමක් නැති බවයි.   තෙල් නැව් එන එකත් බාලගිරි දෝෂය වගේ....අද නොවේ හෙට.  අනිත් අතට රටේ සම්පත් විකුණා ප්‍රශ්නෙට විසඳුම් සෙවීමත් අතීසාරයට අමුඩය ගැසීමකි.    ජීවත්වීමේ අරගලයත් උග්‍ර වෙද්දි  හෙටක් ගැන අපි කාටත් බලාපොරොත්තු තියාගන්න පුලුවන්ද? කියන එකත් ලොකු ප්‍රශ්නයක්.

  ඇත්තෙන්ම දැන් මේ තෙල් ප්‍රශ්නෙටත්,  අත්‍යවශ්‍ය රසායනික පොහොර ප්‍රශ්නෙටත් මැලේසියන් ඉන්දියන් වගේ තාවකාලික පැලැස්තර ගැහුවා හොඳටම ඇති. දැන්වත් අපි හරි දිගුකාලීන සැලැස්මක් හදා නොගත්තොත් ජාත්‍යන්තරයේ ඉදිරියේත්  එන බොහෝමයක් අවිනිශ්චිත තත්වයන් යටතේ අපි ආපහු ලොකු අමාරුවක වැටිය හැකියි.

මැලේසියන්-ඉන්දියන් තාවකාලික පැලැස්තර තවත් එපා!

මැදපෙරදිගට රුසියාවට තේ දීලා  හරි  තෙල් ටික ගේන්න

තේ වෙන්දේසිය ඩොලර් වලින් තියන්න!

තේ වලින් ගෙනා ඩොලර් ටිකට මොකද වුණේ??

     දැනට තියෙන ප්‍රායෝගික හොඳම විසඳුම  මේ වනවිට තේ කර්මාන්තශාලා හිමියන් හා කුඩා තේ වතු හිමියන්ගේ සංගම් හරහා මෙයට වෙලාවේ හැටියට ගැලපෙනම  හොඳ යෝජනාවකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ තමයි අපේ තේ අපනයනයේදී විශේෂයෙන්ම අපේ රටේ තේ ගැනුම් කරුවන් වූ ඒ වගේම ලෝකයේත් වැඩිපුරම තේ පරිභෝජිත රටක් වූ ඉරානය වගේ මැදපෙරදිග රටවලට Ceylon Tea   ( * එය අපේ රටේ නිෂ්පාදිත ඕනෑම  අපනයන  භාණ්ඩයක් හෝ බෝගයක් ද විය හැකියි)   යම් ප්‍රතිශතයක්  දීලා ඉන්ධන හුවමාරුවකට යන එක.

   ඉරානය, රුසියාව වගේ රටවල් හරහා මේ සැලැස්ම පටන් ගන්න පුලුවන් වෙයි. රසායනික පොහොර ගැටලුවටත් එය විසඳුමකි.  එවැනි ද්විපාර්ශවීය ගිවිසුම් වලදී, ගුණාත්මක භාවයන් ප්‍රමිතින්,  මිල  හා රටවල් වල ඇති සම්බාධකයන් ගැන ද සොයා බලා අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කළ හැකි අතර ඉන් මේ ගැටලුවලට යම්තාක් දුරට සැළකිය යුතු විසඳුමක් ගෙන එයි. 

   තේ වලින් පසුගිය කාලයේදී  අපනයනයෙන් ගෙනා ඩොලර් වලට මොකද වුණේ?   එහි විනිවිදභාවයක් ඇතිකිරීම අතිශයින්ම වැදගත් අතර   ‘’තේ වෙන්දේසිය ඩොලර් වලින් ගෙවන්නැයි කියා මේ තරම් ඉල්ලීම් කරන්නේ ද ඒ නිසයි.   එවිට තේ කර්මාන්තශාලා හිමියන් හා තේ ගොවියාට ඩොලරයේ වාසිය ලබාදී ඉහළ යන රසායනික පොහොර යෙදවුම්, ඉන්ධන, යන්ත්‍රසූත්‍ර සාධාරණ ලෙසට ඩොලර් වලින් මිලට ගැනීමට හැකිවී  ක්ෂේත්‍රයේ බොහෝ ගැටලු වලට විසදුම් ලබාගත හැකි වනු ඇති. එසේ නොමැතිව අනීතික ඩොලර් ගනුදෙනු කිරීම්  වලට ඉන් ඉඩ නොලැබෙන පරිදි රටේ නීතීන්ට යටත්ව එය සිදුකළ හැකියි.

 විනිමය පනත  සංශෝධන කළ යුතු තැන් ගැන ද දැන් විවිධ සමාජ කතිකාවත් ඇතිවී තිබේ.

දැන්වත් අපි මේ ගැන සිතාබැලීම අවශ්‍යයි.     ප්‍රමාදය පසුතැවීමට හේතුවිය හැක.  අපේ ජාත්‍යන්තර තේ වෙළඳපොලවල් අලුත් රටවල් ගැනුම්කරුවන් හොයන්  මීට වඩා ප්‍රවර්ධනයක් කරගත යුතුයි.  ටයි කෝට් ගහන් නිකන්ම වගේ රටවල් වලට ගිහින් වාඩිවෙලා ඉන්න තානාපතිලට ඒ වැඩේ කරන්න බැරි ඇයි??

     මේ යෝජනාව වඩාත් කාලෝචිතයි. ඒ නිසා අපේ රටේ සල්ලි, ණයවර ලිපි බැංකු ගැන ජාත්‍යන්තරයේ විශ්වාසය අඩුවෙලා යද්දි ඉන් ගැටලු දිනෙන් දිනම වැඩිවෙමින් යන මේ අවස්ථාවෙදි...පරක්කු නොවීම අදාළ බලධාරින්ගේ අවධානය මීට යොමුවිය යුතු බව බහුතරයකගේ මතය වී තිබෙනවා.

 

 


Wednesday, October 17, 2018

අලි දුම් රිය ගැටුම නැවතිමට රජයෙන් ගෙනා අපූරු මී මැසි හඬ තාක්ෂණය.



   වර්තමානය වන විට අලි-මිනිස් ගැටුම උත්සන්න වෙමින් එදා ගම්බිම් වලට සීමාවු වල් අලින් ශීඝ්‍රයෙන් සිදුවන වන එළිකිරීම් හා ජනාවාසකරණයන් හේතුවෙන් දැන් ඇතැම් මුහුදුබඩ ප්‍රදේශයන් කරා ද ආක්‍රමණය වී ඇති පුවත් නිතර අසන්නට ලැබේ. එහි එක් ප්‍රතිපලයක් ලෙසට මෑතක සිට අලින් දුම් රියන් හා ගැටී මරණයට පත්වීම් ද ඉහළ යමින් පවතී. එලෙසින්ම අලි-මිනිස් ගැටුමෙන් අහිමි වන මිනිස් හා දේපල හානින්ද වර්ධනය වෙමින් ඇත.

     ආසියාවෙහි වැඩිම හා ලස්සනම අලි ඇතුන් ගහනය වෙසෙන රටක් ලෙසටද හඳුන්වන ශ්‍රී ලංකාවට අද උරුමවී ඇති ඉරණම නම් දුක්බරය. මේ ආකාරයට දිනෙන් දිනම අලි ඇතුන් මරණයට පත්වන නිසාම අලි ඇතුන් ගහනයෙහිද අඩුවීමක් සිදුවෙමින් ඇත. ඒ අතර දළ ලබාගැනීමට ඇතැම් අවස්ථාවල ඔවුන් මරා දමනා නොමිනිසුන් ගැනද අපට අසන්නට ලැබුණි. මේ සියල්ල හමුවේ අතීතයේ සිට අලි ඇතුන් යොදාකෙරුණු දළදා පෙරහැරට පවා දැන් අලි ඇතුන් හිඟයන් පවතිනා බවද මින් පෙර ප්‍රකාශවී තිබුණි.
මෙලෙසින් වනාන්තරවලින් ගම්බිම් හෝ නගර කරා ඇදෙනා අලි ඇතුන් සමහරෙකු පින්නවල වැනි අලි අනාථාගාර හා ඇත් අතුරු සෙවණවල් කරා ගෙනයාම ද සිදුකෙරිණි. නමුත් ඒවායෙහි ද ඉඩකඩ සීමා වී තිබේ. මෙම අලි මිනිස් ගැටුමට 70 දශකයේ සිටම විවිධ විසඳුම් ගෙන ඇතත් දීර්ඝකාලීන් සාර්ථක විසඳුමක් නම් මෙතෙක් නිශ්චිතව සඳහන් කළ නොහැක. සාමාන්‍යයෙන්න් අලින්ගේ පිරිමි සතුන් ගම් වැදිම් වැඩි නමුත් ගැහැණු සතුන් මෙලෙස කුපිතවී ගම්වැදීම් සාපේක්ෂව අඩු බවද විද්වතුන් පවසති.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමට ඇති විසඳුම්
  ජනාවාස දෙසට ඇදෙනා අලි ඇතුන් පලවා හැර වෙනම වෙන්වූ වන භුමි වෙත ආරක්ෂිතව ගෙනයෑම්, පුනරුත්ථාපණය කිරීම් , අලි වැට, අලි වෙඩි දැල්වීම වැනි විකල්ප දැනට භාවිතා වේ. ඊට අමතරව ගම් වැට ලෙසට විදුලි වැට වර්ග 2ක් ද හඳුන්වා දී එහි නඩත්ත්වුව ගම්වැසියන් අතර බෙදා දී ඔවුන් හට මාසිකව යම් මුදල් දීමනාවක්ද ඒ සඳහා ලබා දීම ද කෙරෙයි. විශේෂයෙන්ම වනජීවීන්ගේ සහය අහිමි අවස්ථාවලදීද එය ප්‍රයෝජනවත් වේ. අලි මිනිස් ගැටුම් වලදි වැඩිපුර චෝදනා එල්ල වන තවත් පාර්ශවයකි ; වනජීවී නිලධාරීන් ඔවුන්ගේ යම් අකාර්යක්ෂමතාද මේ අලි මිනිස් ගැටුම් වලදී නිතර අසන්නට ලැබේ. සාමාන්‍යයෙන් නියං සමයන් වලදී දිය සොයා ගම් වදින අලීන් වැඩිවේ. අලි ඇතුන් ධූරියන් ගන්ධයට අකමැති නිසා එවැනි ශාක සිටුවීම ද තවත් එක් විසඳුමක් බව පැවසෙයි.





 සද්ධන්තයින් බිය වද්දන මී මැසි හඬ තාක්ෂණය ලංකාවටත්, අලීන් පළවා හැරීමේ අලුත් විසඳුම.

මී මැසි නද විද්‍යුත් සංඥා ක්‍රමයක් ලෙසට යොදගනිමින් අලි- ඇතුන් දුම් රියන් හා ගැටීම වැළැක්වීමට අලුත් විසඳුමක් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් හඳුන්වා දි තිබේ. ඒ අනුව අලී මංකඩවල් ආශ්‍රිතව , දුම්රිය මාර්ග අවට දුම් රිය පැමිණිමට ආසන්න කාලසීමාවන්හිදී කෘත්‍රීමව ජනනය කළ මී මැසි හඬවල් යොදා ගැනිමේ තාක්ෂණයක්ද එක්වී තිබේ. නමුත් මෙය ශ්‍රී ලංකාවට අලුත් වුවද ලෝකයේ සමහරක් රටවල වන අලීන් පලවාහැරීමට යොදාගනු ලැබූ පැරණි සාර්ථක ක්‍රමවේදයකි. මී මැසි හඬට අලීන් අකමැති බව පැවසෙයි.  කෙසේ හෝ අලි මිනිස් ගැටුමට නතර කිරීමට හා අකාලයේ මියැදෙන සද්ධන්තයින්ගේ හෙට දවස වෙනුවෙන් මෙය සාර්ථක විසඳුම්ක් වුවහොත් එය ඉතා වටිනා කර්තව්‍යයකි.


අයි සිරිවර්ධන.

Monday, October 8, 2018

2019 එළැඹීමටත් කලින්ම විකිණෙන පුටින් ජනාධිපති තාත්තාගේ රු 127 කැලැන්ඩරය !!

   


  සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ නම් ජනාධිපති හෝ ඡන්ද අපේක්ෂකයින් දිනදර්ශන බෙදාහරින්නේ මැතිවරණ ව්‍යාපාර සඳහ පමණයි. එයත් නොමිලයේයි. නමුත් 2019 එළැඹීමටත් කලින්ම රුසියාවෙ ජනපති වැලැඩිමිර් පුටින් මහත්තයාගේ වාර්ෂිකව නිකුත් කරන VVP කැලැන්ඩරේ හරිම ඉක්මණින් මේ වනවිටත් ජනප්‍රිය වෙලාලු. මෙහි ඇති විශේෂත්වය නම් එම දිනදර්ශනයේ මිල රුසියානු රුබල් 50ක් , ලංකාවෙ මුදලින් නම් රුපියල් 127 ක පමණ මුදලක් වීමයි. හැබැයි තමන්ගේ රටේ 'ජනාධිපති තාත්තා' ගැන හරිම ආඩම්බරයෙන් කතා කරන රුසියානු වැසියන් නම් සල්ලි දීලා වුණත් මේ ආදරණීය අභීත නායකයාගේ කැලැන්ඩරය මිලට ගැනීමට මැළි නොවන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ.
සැබවින්ම මේ දිනවල අන්තර්ජාලය පුරාවටම, කලින්ම ජනප්‍රිය වුණු රුසියානු ජනපතිවරයාගේ 'VVP 2019' දින දර්ශනය ගැන පුවත් වැඩි වශයෙන් ජනප්‍රිය වී තිබෙනවා දැනටමත් ඔබ දැක ඇති.
 

නව වසර එළැබීමට කලින්ම ඕපාදූප මැවූ VVP 2019 දින දර්ශනයෙන් ජනපති  පුටීන්ගේ විවිධ පෞරුෂයන් හා චරිත අංගයන් පිලිඹිබු කරනා බවක් පැවසේ. 


මෙම ඔක්තෝබර් 7 වැනි දින සිය 66 වැනි උපන්දිනය සැමරුවත් ඔහු තවමත් තරුණයකුගේ මෙන් ශක්තිමත් පෞරුෂයක් ඇති බව, ඔහුගේ උඩුකය නිරුවත්ව සිටිනා ඡයාරූප කීපයකින්ම දිස්වන බව කියැවේ.
2019 දින දර්ශනයෙහි ජනවාරි මස ඡායාරූපයෙහි, ඒ වනවිට 65 වන වියේ සිටි ඔහු අයිස් දියේ අඩක් ගිලි සිටින මෙම දර්ශනයෙන් සිය සාධාර්මික බව පෙන්නුම් කරයි. 

  එසේම ඔහුගේ ශූරත්වය හා ස්වභාව ධර්මය සමඟින් ඔහු සිටිනා බව කියාපාන තවත් ඡායාරූපයකි; ඔහු සැබෑ ලෙසටම මාළුවකු බාගත් අවස්ථාවක් පෙන්නුම් කරනා දර්ශනය.



තවත් ඡායාරුවක ඔහු තුවක්කුවක්ද සමඟින් සිටියි. එය ඔහුගේ රණශූරත්වය හා එඩිතරකම  නිරූපණය කරන්නකි. සමහරෙකු පැවසූයේ, එහි ඇතැම් දර්ශනවල ඔහු ජේම්ස් බොන්ඩ් ලෙසටම ඇඳ පැළඳ සිටිනා බවකි. 


 ඇතැම් ධනවාදි රටවල් පුටීන් හඳුන්වන්නේ දරුණු සිතක් ඇති පාලකයකු ලෙසටයි. නමුත් එම මතය නිවැරදි නොවන බව කියාපාමින් ඔහුගේ සංවේදී බව පෙන්නුම් කරන ඡායාරූයක් ද බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. එම දර්ශනය ඔහු බලු පැටවකු සුරතල් කරන මෙම ඡායාරූපයයි.  



පසුගිය දිනවල CNN පුවත් සේවය මඟින් සිදුකල සංවාදයකදීත් රුසියානු වැසියකු සඳහන් කර ඇත්තේ ලොව බොහෝ රටවල ජනතාව තමන්ගේ රටේ ජනපතිවරයා වැලැඩිමීර් පුටින් වැනි පරගැතියන්ට යටත් නොවන, ණය නැති, රටට ජනතාවට ආදරය කරනා ශක්තිමත් නායකයකු වනවානම් කැමති බවයි. ඒ ගැන රටවැසියන් බොහෝ දෙනා ආඩම්බර වන බවත් ඔහු ප්‍රකාශ කර ඇත. එම කතාව අවිවාදයෙන්ම අපටද බොහෝ දුරට පිළිගත හැකි ප්‍රකාශයකි. සත්තකින්ම ආර්ථික අගාදයකට ළංවෙමින් සිටිනා ශ්‍රී ලංකාවටද ඉදිරියේදී අවශ්‍ය වන්නේ රටට සැබවින්ම ආදරය කරනා දූෂණයට ඉඩක් නොදෙන, ණය නැති, භය නැති දේශීයත්වය අගයනා සාධාරණ හා අභීත පෞරුෂයැති එවන් නායකත්වයකුයි.  
  රුසියාවේ බහුතරයක් ජනතාව තම ජනපතිවරයාගේ මෙම කැලැන්ඩරය ගැන ආඩම්බර වුවත් එරටේද සුලු පිරිසක් පවසන්නේ, වාර්ෂිකව නිකුත් කරනා මෙම දින දර්ශනය විකිණීම දැන් නම් ඔවුන් හට එපා වී ඇති බවක් හා එය අනවශ්‍ය දෙයක් වන බවත් ඔවුනගේ මතයක් වී ඇත.
 
අයි. සිරිවර්ධන

Friday, October 5, 2018

2018 ඔක්තෝබර් 11වැනි දින බ්‍රහස්පති ග්‍රහයා වෘශ්චිකයට මාරු වීමෙන්, ඔබේ ලග්නයට ගෙනෙන බලපෑම....

 


  මේ වසරේදී සිදුවීමට නියමිත සුවිශේෂී ග්‍රහ මාරුවක් තමයි 2018 ඔක්තෝබර් 11 වැනි දින සිදුවීමට නියමිත ගුරු නැතිනම් බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව. ඒ අනුව මෙතෙක් තුලා රාශියෙහි සිටි ගුරු එදින සිට වෘශ්චික රාශියට ගමන් කර 2019 නොවැම්බර් 05 වැනි දින දක්වා එහි රැඳී සිටිනු ඇත.

    සාමාන්‍යයෙන් අධ්‍යාපනය, ධනය, දරුපල, ආගමික භක්තිය හෝ ආධ්‍යාත්මික දෑ නිරූපණය කරන මෙම බ්‍රහස්පති ග්‍රහයා ග්‍රහලොව සුරයින්ට ගුරුවරයෙකු ලෙසට හඳුන්වයි. එසේම එම ග්‍රහයා බලවත්වීම මඟින් පාප සංයෝග්වල වුවද අසුභ බව අඩු කරගත හැකි බවද වැඩිදුරටත් ජ්‍යෝතීෂයෙහි සඳහන් වේ. මෙම ග්‍රහ මාරුවෙහි ප්‍රතිපල ඔබේ ලග්නයට ගෙනන සුබ අසුබ බව ගැන අප දැන් විමසා බලමු.
1. මේෂ ලග්නය
ගුරු ග්‍රහයා මෙවර ඔබේ ලග්නයෙන් 8 වැනි රාශිය වූ වෘෂ්චික රාශියට ගමන් ගනී. එනිසාම ඔබ විවාහකයෙකු නම් ග්‍රහ ජීවිතයේ යම් ගැටලු වැඩි වීමක් පෙන්විය හැකි බැවින් ඒවා මඟහරවා ගැනීමට ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ආර්ථිකයට මිශ්‍ර ඵලයි. නමුත් හවුල් ව්‍යාපාර වැනි කටයුතු ඇරඹීමට නම් මෙය එතරම්ම සුදුසු කාලයක් නොවෙයි. ඔබ බොහෝදුරට පුණ්‍ය කටයුතු වලට මෙම කාලය තුල වැඩිපුර වියදම් කිරීමටද පසුබට නොවනු ඇත.

2. වෘෂභ ලග්නය
මෙම ග්‍රහ මාරුවේදී ගුරු ග්‍රහයා පැමිණෙන්නේ ඔබේ ලග්නයෙහි 7වැන්නටයි. ඔබ මේ වනවිටත් ශනි අශ්ටම ඒරාෂ්ටකයක්ද ගෙවමින් සිටින නිසා විවාහ දිවියේ පැවති පීඩනයන් මෙම ග්‍රහ මාරුව හේතුවෙන් යම් තරමකින් සමනය වීමක් සිදුවිය හැකියි. ආර්ථිකයට හා සෞඛ්‍යයටද  එතරම් අයහපතක් නැත.

3. මිථුන ලග්නය
ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 6 වැනි භාවයට ගමන් කිරීම හා 7වැන්නෙහි ශනි ගමන් කිරීම, නම් විවාහ අපේක්ෂකයින්හට එතරම් සුබදායක නොවනු ඇත. කෙසේ වෙතත් ඔබ යම් පමණකින් හෝ රැකියාවේ අරමුණු බලාපොරොත්තු කීපයක් සපුරා ගැනීමට සමත් වනු ඇත. ආර්ථිකයට මිශ්‍ර ඵල වේ. නමුත් ඔබේ වැය පස වැඩි වන වසරකි. ශරීර සෞඛ්‍යය ගැන විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් වැනි අය රෝග තත්ව කෙරෙහි වෙන්දාට වැඩි සැලකිල්ලක් යොමුකල යුතු වේ.

4. කටක ලග්නය
ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 5 වැන්නට ගමන් කරයි. අධ්‍යාපනය ලබන දරු දැරියන් හට එය සුබදායකයි. වෙනදාට වැඩි උනන්දුවක් හා ප්‍රගතියක් ලබාගත හැකි වසරකි. ආදායම් මාර්ගයන් ද යම් ආකාරයකින් වැඩිවුවත් ඔබේ ඉතුරුම් අඩු වනු ඇත. එනිසා අනවශ්‍ය වියදම් පාලනයට කටයුතු කරන්න. සෞඛ්‍යය යහපත් වනු ඇත, නමුත් දරුපල බලාපොරොත්තුවන විවාහ අපේක්ෂකයින් ගේ බලාපොරොත්තු ප්‍රමාද වනු ඇත.

5. සිංහ ලග්නය.
ගුරු ග්‍රහයා මෙවර පැමිණෙන්නේ ඔබේ ලග්නයේ කේන්ද්‍රස්ථානයක් වූ 4 වැන්නටයි. ගුරු ග්‍රහයා ඔබේ 5 වැන්න හා 8 වැනි භාවය නියෝජනය කරන ග්‍රහයායි. ඒ හේතුවෙන් ග්‍රහ ජීවිතයේ සුළු වශයෙන් ගැටලු මතුවිය හැකි අතර සෞඛ්‍යය තත්වයන් කෙරෙහිද ඔබේ වැඩි අවධනයක් යොමුකල යුතු වනු ඇත. ඔබට වෙනදාට වැඩි යම් අවිවේකි භාවයක් ඔබට දැනිය හැකියි.

6. කන්‍යා ලග්නය
ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 3 වැනි භාවයෙහි ගමන් කරනු ඇත. මෙම ග්‍රහයා ඔබේ 7 වැනිභාවය අධිපතියාද වනු ඇත. කෙසේ වෙතත් ඔබේ ලග්නයට බාධක ග්‍රහයා මෙම ස්ථානයෙහි ගමන් කිරීම ඔබට වැඩි වශයෙන් යහපතට හේතු වනු ඇත. ප්‍රේම සම්බන්ධතා, ආර්ථිකය හා සෞක්‍යයට යහපත් කාලයකි. කෙටි ගමන් බිමන් හෝ විදේශ සංචාර වුවද යෙදිය හැක.

7. තුලා ලග්නය
මෙවර ගුරු ග්‍රහයා පැමිණෙනුයේ ඔබේ ලග්නයෙන් 2 වැන්නටයි. මෙයද ආර්ථිකයට ශුබදායකයි. ව්‍යාපාර සම්බන්ධ කටයුතු දියත් කිරීමට හා ඇරඹීමට බොහෝ යහපත්ය. රැකියා බලාපොරොත්තු බොහෝමයක් සපුරා ගැනීමට හැකි අතර විවාහ අපේක්ෂකයින් හට මංගල යෝග උදාවිය හැක. සෞඛ්‍යයද බොහෝදුරට යහපත් තත්වයක පවතිනු ඇත.

8. වෘශ්චික ලග්නය
ගුරු ග්‍රහයා ඔබේ ලග්නයට පැමිණීමෙන් වැඩිපුරම සුබපල ලබන ලග්න හිමියා ඔබයි. විවාහ අපේක්ෂකයින්ගේ මෙන්ම දරුඵල අපේක්ෂා කරනන හටද සුබදායි කාලසීමාවකි. ඉගෙනීමේ යෙදී සිටින ළමුන් ද වෙනදාට වැඩි උනන්දුවකින් කටයුතු කරනු ඇත. සමස්තයක් ලෙස ආර්ථිකයටද සුබදායි කාලයකි.

9. ධනු ලග්නය.
ඔබේ ලග්නාධිපතියා වූ ගුරුග්‍රහයා 12 වැන්නට ගමන් කරයි. විදේශගත වීමට හෝ දුර පලාතකට යෑමක් වුවද සිදුවීමට ඉඩකඩ පවතී. සෞඛ්‍යය තත්වය මිශ්‍රපලයි. ආදායම් මාර්ගයන් කෙසේ වුවත් ඔබේ අනවශ්‍ය වියදම් වැඩිවීම නිසා වැයපස බොහෝ ඉහල යනු ඇත. එනිසා ඒ සම්බන්ධව කල්තියා දැනුවත්ව කල්පනාවෙන් කටයුතු කළ යුතු කාල සීමාවකි. අලුතින් ව්‍යාපාර ඇරඹීමට හෝ හවුල් ව්‍යාපාර වල නියැලෙන්නන් තීරණ ගැනීම් වලදි ඉතා කල්පනාකාරි වියයුතුයි. එවැනි තීරණ වලය යන්නේ නම් වසරක් වත් ප්‍රමාද කිරීම මැනවි.

10. මකර ලග්නය.
ඔබේ කේන්දරයෙහි සියලු ලැබීම් පෙන්වන 11 වැන්නට ගුරු ග්‍රායා පැමිණේ. මෙතෙක් පෑවති පීඩාකාරිත්වය යම් තරමකින් පහව යනු ඇත. ආදායම් මාර්ගයන් ලැබිම්ම් යහපත්ය. මිතුරු ඇසුරද වැඩිවන කාලසීමාවකි. මෙම ග්‍රහ ගමන හේතුවෙන් ප්‍රේම සම්බන්ධතාවලදී මෙතෙක් බලපෑ පීඩාවන් අඩුවී යනු ඇත.

11. කුම්භ ලග්නය
ගුරු ග්‍රහයා ඔබේ කේන්දරයෙහි 10 වැන්නට ගමන් කරනු ඇත. ඒ අනුව රැකි රක්ෂා, උසස් වීම් බලාපොරොත්තු වූවන්ගේ බලාපොරොත්තු මෙන්ම ව්‍යාපාරිකයින්ගේ අරමුණුද බොහෝදුරට ඉටුකරගත හැකි කාල සීමාවකි. ගෘහ ජීවිතයේ ද ගැටලු අවම වනු ඇත. සමස්ථයක් ලෙස සෞඛ‍යයද යහපත්වනු ඇත.

12. මීන ලග්නය
ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 9 වැන්නට පැමිණේ. ආගමට බරව වැඩිපුර කටයුතු කරනු ලබන කාලසීමාවකි. ව්‍යාපාරිකයින් තීරණ ගැනීම් වලදී ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. විදෙස් ගමන් ගැන බලාපොරොත්තු වූවන්ගේ අරමුණු ඉටුවේ. රැකියාවේ අවිවේකිභාවයද වැඩි කරනු ඇත.



අනුග්‍රහය : Astromansala E- Astrology Service
071 3400 528

Saturday, September 29, 2018

සිංහල-ඉංග්‍රීසි විද්‍යුත් ශබ්ද කෝෂ අතරට පැමිණි සුපිරිම අලුත් වැඩකරු 'Jhat English to Sinhala Dictionary'


         
 

ශ්‍රී ලංකාව තුල මෙතෙක් බිහිවූ සිංහල ඉංග්‍රීසි මුද්‍රිත ශබ්ද කෝෂ අතරින් 'මලලසේකර' ශබ්දකෝෂයට හිමිවූයේ අද්විතීය ස්ථානයකි. පසුකාලීනව තාක්ෂණයෙහි සිදුවූ පෙරළීන් සමඟින් විවිධ ගණයේ විද්‍යුත් ඊ සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂ කීපයක් පැමිණියත්, ඒ අතරින් ජනතාව අතර සාර්ථකව ජනප්‍රිය වූයේ Madura Dictionary යි. එයින් පසු වැඩිදියුණුවූ සාර්ථකම විද්‍යුත් සිංහල ඉංග්‍රීසි ශබ්ද්ගකෝෂය බවට පත්වන්නේ මෑතකදී අන්තර්ජාලයට එක් වූ සුපිරි තාක්ෂණික අංගයන් කීපයකින්ම අනූන වූ  Jhat සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂයයි. සැබවින්ම මෙම මෘදුකාංගය අපේ කාලයට බෙහෙවින් ගැලපෙන පරිදි සංවර්ධනය කර හඳුන්වාදුන්නේ මහේෂ් කුලසිංහ විසිනි.

මෙම Jhat English to Sinhala Dictionary හි ඇති විශේෂත්වය නම් ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම් දැනගැනීමත්, හඬ භාවිතයෙන් ඒවා ශබ්ද නැගීමට හැකි OCR  තාක්ෂණය හරහා අප කැමරාව ඉදිරිපිට ඉංග්‍රීසි වචන පෙන්වු විට එය හඳුනාගැනිමට හැකි අංගයන් රැසකින් සමන්විත වීමයි.
මෙය අන්තර්ජාලයෙන් තවමත් ඔබට නොමිලයේ බා ගත හැකියි. එලෙසටම ඔබේ  Windows හෝ Linux  මෙහෙයුම් පද්ධතින් සඳහා අවශ්‍ය පරිදි සකසා ගැනීමේ පහසුකම ද තිබේ. ඔබ කල යුත්තේ සිංග්ලිෂ් හෝ ඉංග්‍රීසි වලින් වචන ටයිප් කර සෙවීමයි. එලෙසටම එය අවසානයට පෙර Space bar හි ටයිප් කිරීම කළ යුතු බවද මතක තබා ගන්න. මෙනුව හරහා ඔබට OCR  තාක්ෂණය තෝරාගත හැකියි.
පහත Version දෙක දැනට ඔබට අන්තර්ජාලයෙන් බාගත හැකියි.

 Jhat English to Sinhala Dictionary V1.6
Jhat English to Sinhala Dictionary V1.7 beta







අයි. සිරිවර්ධන


Sunday, September 23, 2018

ලංකා රුපියල 200 දක්වා අවප්‍රමාණ වීමේ අවදානම වැඩි බැවින්, තවදුරටත් කාර් මිලත් ඉහළ යන ලකුණු...




පසුගිය සතිය තුළ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙමින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 170 දක්වා පැමිණ මෙතෙක් ඉතිහාසයෙහි වාර්තා කළ වැඩිම අගයට පැමිණියා. ඉන් පසු රජය විසින් විදෙස් සංචිතයන් නිදහස් කිරීමෙන් පසු නැවත එය 168 මට්ටමට පැවතියද ඉදිරි මාස කීපය තුළ එය තවදුරටත් අවප්‍රමාණය වීම නම් කිසිවෙකුටත් නොවැළකිය හැකි අඩියකට තිබේ. මීට බලපෑ බාහිර සාධකය අතර ආසන්නතම හේතුවක් වූයේ ඇමරිකාව විසින් ආයෝජකයින් දිරිගන්වමින් ඔවුන්ගේ පොලී අනුපාත ඉහළ දැමීමයි එනිසා 2008 වසරේදී එරට ආර්ථිකය කඩා වැටීමකට ලක්වීමේදී එරටින් පිටතට අයෝජකයින් විසින් රැගෙන ගොස් සිටි ආයෝජන නැවත ඇමරිකාව තුළට ගලා ඒමක් සිදුවෙමින් පැවතීමයි. 

ආනයනික වාහන වල මිල වැඩිවිම ඉදිරියටත්....
  ඒත් සමඟම පසුගිය දිනවල මෙරට වාහන ආනයන කරන්නන්ගේ සංගමය විසින් පැවසුයේ ඉදිරියේදි රුපියල තවදුරටත් අවප්‍රමාණ වීමේදී එය ලබන වසර වනවිටදී රු 200 දක්වා  ඉහල යන තත්වයක් දැනට පවතින බවයි. එනිසා පවතින රජය බලයට පත්වීමේදී පොරොන්දුවූ පරිදි පුංචි වාහන අඩුවට දීමේ සිහිනය තවත් පාරිභෝගිකයින්ගේන් ඈතට යනු ඇති බවයි. රුපියල අවප්‍රමාණවීම රු 170 දක්වා වැඩිවීමෙන්, ඒ වනවිටත් ආනයන කරන සාමාන්‍ය මෝටර් රථවල පවා මිල ලක්ෂ 2 ත් තුනත් අතර පමණකින් වැඩිවීමේ ප්‍රවණතාවක් පැවතුණු බව සඳහන් විය. එනිසා ඉදිරියේදී වාහන මිල ගණන් අඩුකිරීමට නම් රජයෙන් ව්‍යාපාරිකන්හට බදු සහන දීම නොකළහොත් එම එම ක්ෂේත්‍රය දැවැන්ත කඩාවැටීමකට ලක්වනු ඇත.
මේ දිනවල බෙහෙවින් කතාබහට ලක්වූ "රුපියල අප්‍රමාණවීමේ" මාතෘකාව ව්‍යාපාරිකයින්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයටද දැඩි බලපෑම් කිරීමට සමත්වීම නිසා ඉදිරියේදි ආනයන මත වැඩිපුර ආර්ථිකය යැපෙන රටවල් තුල උද්ධමනය වැඩි වීමට අනිවාර්යෙන් බලපානු ඇත. මේ තත්වය මෙරටට පමණක් නොව ඉන්දියාව හා පාකිස්තානය වැනි අනෙකුත් රටවලටද බලපා ඇති නිසා ඔවුන්ගේද රුපියල අවප්‍රමාණය වෙමින් පවතී.

රට තුළ ආර්ථික අර්බුදය හමුවේ කෝටි ගණනින් මන්ත්‍රී වැටුප් වැඩි කිරීම හා විකල්ප....

අපේ රටේ දැනට ඇති දැවැන්ත ණය කන්දරාව 2019 වනවිට ගෙවා දැමීමට රජයට සිදුවන නිසා, ඉදිරියේදී රජයට අපනයන වැඩි කිරීම උදෙසා රුපියල බාල්දු කිරිම දිගින් දිගටම සිදුකිරීමට සිදුවේ. අනෙක් විකල්පය නම් රටවැසියාගෙන් වැඩි වශයෙන් බදු ගැසීමයි. මෙය ඔවුනට ඇති ප්‍රධාන විකල්ප 2කි. මෙයට පිළිතුරක් විය හැකි තවත් විකල්පයක් ඇත. එය නම් රට දැඩි ආර්ථික පසුබැඇමක් සිටින අතර මෑතකදී කෝටි ගණනින් වැඩි කළ මන්ත්‍රී වැටුප් කප්පාදු කිරීමයි. නමුත් අපේ රටෙහි රජයන් විසින් මෙම තුන් වන විකල්පයට නම් කිසිවිටෙකත් නොයන බව නම් නිසැකයි! සැබවින්ම රට තුල ආර්ථික මෙතරම් පසුබැමක් සිදුවීමට පෙර පැවති හා පවතින රජයන් යටතේ වූ මහජන මුදල් වංචා මෙන්ම දුර්වල ආර්ථික කළමණාකරණ තීරණයන්ද හේතුවූ බව බහුතරයක් ජනතාවගේ මතයයි.

අපනයන ආදායම වැඩිකිරීමට බාධා ගෙනෙන අපනයනකරුවන්ගේ ප්‍රායෝගික ගැටලුවල යථාර්ථය.....

අපනයන වර්ධනය කර විදේශ සංචිත වැඩිකරගැනීමට රජය දරණ උත්සාහයන් එතරම් ප්‍රායෝගිකද? යන්න දැනට ගැටලුවකි. ඒ මේරටින් අපනයන කරන කෘෂි හා කාර්මික නිෂ්පාදිතයන් බහුතරයක අමුද්‍රව්‍යයන් වෙනත් රටවලින් ආනයනය කරන බැවිනි. අන්තර්ජාලය හරහා මෙරටට විදේශ විනිමය සපයන පිරිසක් ද මෙරට සිටියත් අවාසනාවට එම මුදල අප රට තුළට ගෙනේමේදී  ඔවුන් ගැටලු රැසකට මැදිවී සිටිති. අවම තරමින් ජාත්‍යන්තරයේ ගනුදෙනු වලදී බහුලවම ප්‍රචලිත වූ Paypal ක්‍රමවේදය හරහාවත් මෙරටට විදෙස් මුදල් රැගෙන ඒමට නිසි අවසරයක් ලැබි නැත. එනිසා බොහෝ ජාත්‍යන්තර ගැනුම්කරුවන් හට ලංකාව ගැන ඇති ප්‍රතිරූපයන් සෘණාත්මක කිරීමට ද එය බලපා ඇත.  මේ සියල්ල හමුවේ නොවැම්බරයේදී පැමිණෙන මී ළඟ අයවැය සහන ගැනද ජනතාවතුළ ඉතිරිව ඇත්තේ දෙගිඩියාවක් පමණි.

Wednesday, September 19, 2018

නිවසට සිරිකත කැන්දන්න ගෙනෙන Lucky Plant පිළිකාගෙනෙයිද....ඕපාදූප වලට නොරැවටෙන්න. විද්‍යාත්මක සත්‍යය මෙන්න.




    
  ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාතික රටවල් බොහෝමයක වැවෙන මෙම 'ලකී ප්ලාන්ට්' ශාක විශේෂය ඩ්‍රසීනා ප්‍රභේදයකි. වැඩිදෙනකු අතර මෙය නිවසට වාසනාව රැගෙන එන ශාකයක් ලෙසටත් ප්‍රචලිත අතර චීන ෆෙන්ග්ෂුයි ක්‍රමයන්ට අනුකූලවද එවැනි විශ්වාසයන් පවතී. මෙහි වර්ග කීපයක්ම පැවතියත් ශ්‍රි ලංකාවෙහි නම් ඩ්‍රසීනා ප්රැග්රන්ස් මැසෙන්ජියානා නොහොත් ලකී ප්ලාන්ට් වඩාත් ජනප්‍රිය අතරම එය අපනයන සඳහා ද යොදා ගැනේ. සාමාන්‍යයෙන් මෙම ශාකය වැඩෙනුයේ යාන්තමින් සූර්ය රශ්මිය වැටෙන ස්ථානවලයි. ඉහත සඳහන් කළ පරිදි නිවසට වාසනාව කැඳවන බවට ඇති ව්ශ්වාසයන් හා එය සෙවණ ප්‍රිය කරන ශාකයක් යන කරුණු දෙක නිසාම බොහෝවිට එය නිවෙස් වල අභ්‍යන්තරයේ අලංකාරයට යොදාගනියි.

නමුත් දැනට අවුරුදු දෙකක පමණ සිට මෙතෙක් නිවෙස් වලට වාසනාව ගෙනෙනවායැයි කී ලකී ප්ලාන්ට් ශාකයම, නිවෙස් හිමියන්ට මාරාන්තිකවන බවට පවසමින් විවිධ පුවත් හා ඕපාදූප අන්තර්ජාලය පුරා වයිරල් ආකාරයට පැතිර ගියා. එයට ආසන්නතම හේතුවක් වූයේ පිළිකා කාරකයක් එහි අන්තර්ගත බවට මැලේසියානු වෛද්‍යවරයෙකු පැවසූ ප්‍රකාශයකි. එම පුවතට අනුව මැලේසියාවේ එක්තරා නිවෙසක සාමාජිකයින් සය දෙනෙකු වරින් වර මරණයට පත්ව ඇති අතර ඔවුන්ගේ වෛද්‍යවරයා විසින් නිවෙස පරීක්ෂා කිරීමේදී එහි තිබූ ලකී ප්ලාන්ට් වර්ගයේ පැළෑටියක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි පිළිකා කාරකයක් අන්තර්ගත බව සොයාගත් බවක් පැවසීමයි. පසුව මැලේසියානු හා සිංගප්පූරු වෙබ් අඩවි රැසක හා සමාජ ජාලවල එම ඕපාදූප ප්‍රසිද්ධිය ලබා ගැනීමේ අටියෙන් අනවශ්‍ය ලෙසට එම සිදුවීම උලුප්පවා පෙන්වමින් වාර්තා කර තිබුණි. නමුත් සත්‍යය නම් එම අදාළ වෛද්‍යවරයාගේ එම ප්‍රකාශය විද්‍යාත්මක වශයෙන් ප්‍රමාණවත් පැහැදිලි සාක්ෂීන් සමඟින් ඉදිරිපත් කර නොතිබීමයි.












ඉහත කාරණාව ගැන පර්යේෂණයක් සිදු කිරීමට නැවතවරක් 2015-2016 වසරවලදී මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර යුනිවසිටි පුට්‍රා මැලේසියා (UPM) නම් සරසවියෙහී පීඨාධිපති හා එරට කෘෂි හා ආහාර පර්යේෂණ පර්ෂද ජාතික කොමිසමෙහි ප්‍රධානි වන මහාචාර්ය ගිසන් සෙලෙහ්ගේ මූලිකත්වයෙන් සිදු කළ විද්‍යාත්මක ප්‍රයේෂණවලින් ලකී ප්ලාන්ට් හෝ ඩ්‍රසීනා කුළයෙහි ශාක තුළ පිළිකා කාරකයක් අන්තර්ගත බවට මෙතෙක් පිළිගත හැකි මට්ටමේ කිසිම විද්‍යාත්මක සාක්ෂියක් හමු නොවූ බව වාර්තා විය. එසේම එය ලියුකේමියා රෝගයට හේතුවක් නොවූ බවත් වැඩිදුරත් පෙන්වා දි ඇත. එනමුත් ලකී ප්ලාන්ට්, පතොක් වැනි ගෘහස්ථව තබන සමහරක් ශාක වර්ග මිනිසාට හා සුරතල් සතුන් හට විෂ විය හැකි රසායනික අන්තර්ගත බව නම් සත්‍යයක් බව පිළිගැනුනි. එනිසා එවැනි ශාක නිවෙස් වල ඇතුලත තබා ගැනීම අනතුරුදායක බවත් වැඩිදුරත් ප්‍රකාශ කෙරුණි. එයට හේතුව  එහි පත්‍ර හෝ මල් වල සාර යුෂය කුඩා ළමුන් හෝ නිවෙස් වල ඇති කරන බල්ලන් බළලුන් වැනි සතෙකු ආහාරයට ගෙන ශරීරගත වූයේ නම් ඇතැම් විට මාරාන්තික වීමට පවා ඉඩකඩක් ඇති බව කියැවෙන නිසායි. සාමාන්‍යයෙන් ලකී ප්ලාන්ට් හි මල් කපාදැමීමකදී වුවද අත් ආවරණයක් භාවිතා කළ යුතුයි. නමුත් එය බොහෝදෙනෙකු පිළිකා කාරකයක් ලෙසට පිළිගැනීම නම් විද්‍යාත්මකව මෙතෙක් පැහැදිලිව සනාථ වී නොමැති නිසා තවමත් එය සාවද්‍ය මතයක් ලෙසට පිළිගැනෙයි.


පරිවර්තනය : අයි සිරිවර්ධන.
කර්තෘ අවසරයෙන් තොරව මෙම ලිපියෙහි කරුණු කුමන ආකාරයෙන් හෝ උපුටා ගැනීම තහනම් වේ.

මූලාශ්‍ර: 
www.edgeprop.my.com
The Malaysian Insider